ගොංගාලේගොඩ බණ්ඩා

නිදහස් සටනේ ප්‍රධානතම සෙන්පතියකු වූ ගොංගාලේගොඩ බණ්ඩාගේ මුල් නාමය වූයේ දාවිත් හෙවත් ඩේවිඩ් ය. අලුදෙණියේ බණ්ඩා, කපුරුබස්ති බණ්ඩලාගේ ඩේවිඩ්, දොන් පුල්ලේ වෙදරාල ආදි නම්වලින් හැඳින්වූයේ ද මොහු ම ය. වර්ෂ 1843 පමණ කාලයේ දී මොහු බදුල්ල ප්‍රදේශයේ වාසය කර ඇති අතර එහි දී ජාතිමාමක, ජාත්‍යාභිමානී, නිර්භීත සිංහලයන් සමඟ එකතු වී ඉංග්‍රීසීන්ට විරුද්ධ ව කටයුතු කර ඇත. එනිසා ම මොහු රාජද්‍රෝහියකු හැටියට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි. තමා රාජසිංහ පවුලට නෑකම් ඇත්තකු බව ප්‍රකාශ කරමින් මහනුවර දළදා මාලිගාවේ වාසය කර ඇත. විදේශීය පාලනයට විරුද්ධව කටයුතු කිරීමේ දී එයට අවශ්‍ය පොදු ජන විශ්වාසය සහ සහයෝගය ලබා ගැනීම වැදගත් බව ඔහු විසින් අවබෝධ කරගෙන තිබුණි. ඉංග්‍රීසීන් විසින් අය කරන ලද අසාධාරණ බදු අහෝසි කරවා ගැනීමට සිංහල ජනතාවට අවශ්‍ය විය. එසේ ම ඉංග්‍රීසි පාලකයන් ලංකාවෙන් පලවා හැරීමට සිංහලයන් එක් රොක් විය යුතු බව අවබෝධ කරගෙන තිබිණි. මේ අරගලයේ නායකත්වය සඳහා ගොංගාලේගොඩ බණ්ඩා පත්විය. වර්ෂ 1848 ජූලි මස 30 දින විශාල පිරිසකගේ කැමැත්ත සහ විහාරාධිපති ගිරානේගම ඉන්ද්‍රජෝති හිමිපාණන්ගේ අනුග්‍රහය ලැබිණි. ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව ගොංගාලේගොඩ බණ්ඩා ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් තුන් සිංහලයේ ම රජු වශයෙන් ඔටුණු පළඳවා අභිෂේක කරන ලදි. මහනුවර පැරැන්දුගල හා මාතලේ නගර ජයගෙන සිටින අවස්ථාවේ සිංහල සටන් නායකයන් අතර ඇති වූ භේද, සිංහලයාගේ යුද්ධායුධශක්තිය ප්‍රබල නොවීම ආදි හේතු නිසා සටන අඩපන විය. මෙය අවස්ථාව කරගත් ඉංග්‍රීසීන් සැඟවී සිටි ගොංගාලේගොඩ බණ්ඩා වර්ෂ 1848 නොවැම්බර් 14 දින යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලදි. මෙහි දී ඉදිරිපත් කරන ලද පාපෝච්චාරණය නිසා මරණ දඬුවම ලිහිල් වී කසපහර 100ක් ගසා වර්ෂ 1849 ජනවාරි 01 දින මරණයට පත් විය. මහනුවර අභිෂේක ලත් රජු ලෙසත්, වර්ෂ 1848 විමුක්ති සටන සංවිධානය කර එය පොදු ජනතාව මගින් පණ පොවා මෙහෙයවූ වීරයකු ලෙසත් ගොංගාලේගොඩ බණ්ඩා යන නාමය ලංකා ඉතිහාසයෙහි නොමැකෙන අයුරින් සටහන් වී ඇත.



Comments

Popular Posts