සාක්ෂරතාවය අද vs එදා
අපට පාසලේදී උගන්වා ඇත්තේ අතීතයේ සිටි මිනිසුන්ගේ සාක්ෂරතාවය දුර්වල මට්ටමක තිබූ හෙයින් පූජාවලිය, ජාතක කතා ආදිය රචනාකර ඇත්තේ කියවන විට රසය විඳිය හැකි භාෂා ශෛලියකින් බවයි.
එසේ ඔවුන්ගේ සාක්ෂරතාවය පහල මට්ටමක තිබුනේනම් අතීතයේ සිටි රජවරුන් විසින් සාමාන්‍ය ජනයාට අදාළ නීතිරීති සඳහන් සෙල් ලිපි, ටැම් ලිපි පිහිටවූයේ ඇයි දැයි කිසිවකු ප්‍රශ්න නොකරන්නේ ය.
එය පසෙක පසෙක තැබේවා. මා එදා හා අද සාක්ෂරතාව පිළිබඳ කරුණු කිහිපයක් පවසන්නම්.
1. පෙයියාල
--------------------
එදා සිටි මිනිසුන් පොත් ලිවීමේ දී, විවිධ කරුණු එකම ආකාරයෙන් විස්තර කෙරෙන්නේ නම් එක් කරුණක් පමණක් විස්තර කර අනික් කරුණු උදෙසා පෙයියාල යොදනු ලබයි. කියවන්නා එම කරුණුද, පෙර කරුණු ඇසුරින් තමා විසින් විස්තර කර ගනිමින් අවබෝධ කර ගත යුතුය.
අද සිටින මිනිසුන්ට පෙයියාල දිග හැර ගැනීම තබා, ලියා ඇති දේ ද තේරුම් ගැනීමට නොහැක. ඔවුන්ට ඇත්තේ ලිවීමේ හා කියවීමේ හැකියාව මිස විස්තර වශයෙන් අවබෝධ කරගැනීමේ හැකියාව නොවේ.
2. සීගිරිය හා වැසිකිලිය
--------------------------------------
එදා සිටි මිනිසුන් අඩ නිරුවත් සීගිරි ලඳුන් දැක බිත්තියේ (කැටපත් පවුරේ) ලීවේ සුන්දර කවි පන්තිය.
අද සිටින මිනිසුන් තම ලිංගය දැක, පොදු වැසිකිළියේ ලියන්නේ කුණුහරුප හා දුරකථන අංකය.
3. දැනුම හා අධ්‍යාපනය
-------------------------------------
එදා සිටි මිනිසුන් ලිවීම, කියැවීම හා ශිල්ප ශාස්ත්‍ර පිරිවෙන ඇසුරෙන් ඉගෙන ගත් අතර, භුමිය තුළ ජීවත් වීම ජන සමාජය ඇසුරින් ඉගෙන ගත්තේ ය.
අද සිටින මිනිසුන් ලිවීම කියැවීම පමණක් පාසලෙන් ඉගෙන ගන්නා අතර, එයින් අධ්‍යාපනය පරිපූර්ණ යැයි සිතා සිටිති.
4. අවශෝෂණය හා කොපි කිරීම
----------------------------------------------------
එදා සිටි මිනිසුන් වෙනත් රටවල දැනුම් පද්ධතීන්ගෙන් දැනුම ලබාගෙන, එය භාවිතා කිරීමට පෙර ලාංකික ක්‍රමයට පරිවර්තනය කර ගන්නා ලදී.
අද සිටින මිනිසුන් වෙනත් රටවල දැනුම් පද්ධතීන්ගෙන් දැනුම ලබාගෙන එය ඒ ආකාරයෙන්ම භාවිතා කිරීමට ගොස් ඇන ගනිති.
5.නිර්මාණය හා හිඟමන
----------------------------------------
එදා සිටි මිනිසුන් තමා මුහුණ දුන් අභියෝගයන්ට, තම ජන ජීවිතයට ගැලපෙන විසඳුම් නිර්මාණය කරගන්නා ලදී.
අද සිටින මිනිසුන් තමා මුහුණ දෙන අභියෝගයන් ට, විසඳුම් ආනයනය කර, එම විසඳුම ට ගැලපෙන ලෙස තම ජන ජීවිතය සකසා ගැනීමට උත්සාහ කරයි.
6. දේශපාලනය
-------------------------
එදා සිටි පාලකයන් ජනතාව පිළිබඳ සිතුවේ ය.
අද සිටින ජනතාව පාලකයන්ගේ මව්පියන් පිළිබඳ ව සිතයි.
වර්තමානයේ ලංකාව මුහුණදෙන සියලු ගැටළු හා අභියෝග එක් සරල වැකියකට සම්පිණ්ඩනය කළ හැක. එනම්
"සාක්ෂරතාවය දුර්වල වීමයි"
Comments
Post a Comment