අපේ අධ්‍යාපනයට වැරදුන හැටි

එය පැහැදිලි කිරීමට පෙර පැනයක් නගමි. පරිසරය යනු කුමක්ද? ගස, ගඟ, කුරුල්ලා... මේවා පරිසරයද? නැත. එසේ නම් මේ සියල්ලේ එකතුව පරිසරය ද? නැත. පරිසරය යනු මේවයේ ක්‍රියාකාරීත්වයයි. එනම් ගඟ ගලා යාම පරිසරය වන අතර ගඟ යනු නාම පදයකි.

මෙය අපේ අධ්‍යාපනයට අදාළ වන්නේ කෙසේද?

විද්‍යාව -  විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමයේ ක්‍රියාකාරිත්වයයි. නමුත් අපට උගන්වන්නේ විද්‍යාවට අදාළ පද සමූහයක් පමණි. උදා- ත්වරණය, ඝර්ෂණය ආදී පද සමූහයක් උගන්වන අතර ඒවායේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය උගන්වන්නේ නැත. එබැවින් විද්‍යාවට A සාමාර්ථ ගත් කොල්ලො යතුරු පැදියෙන් ඉගිලීමටගොස් අකාලේ මිය යති.

ඉතිහාසය - ඉතිහාසය යනු අතීතය ක්‍රියාත්මක වූ ආකාරයයි. නමුත් අපට උගන්වන්නේ ඉතිහාසයට අදාල පද  සමූහයක් පමණි. උදා - රුවන්වැලි සෑය, දුටුගැමුණු රජතුමා, වාරි ශිෂ්ටාචාරය, ආදී පද සමූහයක් උගන්වනු ලබයි. ඒවා ගොඩනැගුණු ආකාරය උගන්වන්නේ නැත. එබැවින් ඉතිහාසයට A සාමාර්ථ ගත් කොල්ලෝ වැව් ඉදිකිරීම සදහා විදෙස් විශේෂඥයන් ගෙන්වා ගනී.

ආගම - ආගම යනු ජීවන රටාවකි. නමුත් අපට උගන්වන්නේ ආගමට අදාල පද සමූහයක් පමණි. උදා - පංචසීලය, වීරිය, ශ්‍රද්ධාව ආදී පද සමූහයක් උගන්වන අතර එයින් ගොඩනැගෙන ජීවන රටාව උගන්වන්නේ නැත. එබැවින් ආගමට A සාමාර්ථ ගත් කොල්ලෝ කෘමි නාශක යොදා වගා කරති.

භාෂාව, ගණිතය ආදී අනිකුත් සියලු විෂයයන් ද මේ ආකාරයෙන් තේරුම් ගත යුතුය.

විද්‍යාව යැයි සිතා විද්‍යාවේ පද සමූහය උගත් විද්වතා කිසිදිනක විද්‍යාත්මක ක්‍රමය ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නැත. මක් නිසාද යත්, විද්‍යාත්මක ක්‍රමය ක්‍රියාත්මක වූ සැණින් ම විද්වතා මුග්ධයකුබවට පත්වන බැවිනි. එබැවින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වීමට ඇත්තේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අඩු ඉඩකඩකි.

ප.ලි - භාෂාව ඇතුලත් නොකිරීම විශාල අඩුවක් වශයෙන් හැඟීයයි.

භාෂාව - භාෂාව යනු මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම නොහොත්  සන්නිවේදන ක්‍රමයයි. නමුත් අපට උගන්වන්නේ භාෂාවට අදාල පද සමූහයක් පමනි. උදා- අකුරු, වචන, ව්‍යාකරණ ආදී පද සමූහයක් උගන්වන අතර ඒවායින් ගොඩනැගෙන අර්ථ ග්‍රහනය කරගන්නා ආකාරය උගන්වන්නේ නැත. එබැවින් සිංහල භාෂාවට A සාමාර්ථයක් ගත් කොල්ලන්ට "මල" කියූවිට සිහිවන්නේ "මල යන නාමපදය" මිස මලට අදාල පෙති, සුවඳ, වර්ණ ආදී අර්ථ සමූහයනොවේ. ඉතිං ඔවුන්ට යමක් පැහැදිලි කිරීම ගොනුන්ට අවකලනය ඉගැන්වීමට වඩා අසීරුය. මේ සන්නිවේදන කඩයිම පසු නොකර අප කෙසේ දියුණු වන්නද?

Comments

Popular Posts