මෝඩ නිකායන්
ලංකාවේ මෝඩයන් ලොව අනිකුත් මෝඩයන් අතරින් කැපී පෙනෙයි. ඒ ඔවුන් තම මෝඩ සම්ප්‍රදාය අනුව නිකාය වශයෙන් බෙදී සිටීම නිසයි. ඔවුන් සෑම විටම කටයුතු කරනුයේ තම තම නිකායන්හි සම්ප්‍රදායන්ට අනුකූලවය. මෙරට ප්‍රධාන මෝඩ නිකායන් තුනකි. ඒ වංශාභිවර්ධන මෝඩ නිකාය, විද්‍යාභිවර්ධන මෝඩ නිකාය හා විරුද්ධාභිවර්ධන මෝඩ නිකාය.
1. වංශාභිවර්ධන මෝඩ නිකාය
මොවුන්ගේ එකම පරමාදර්ශය තම වංශයේ අතීතයයි. අපේ අහවල් රජතුමා ප්ලේන් හැදුවලු. ඒක අහවල් පොතේ තියෙනවලු. ආදී වශයෙන් නිශ්චිත තොරතුරු රහිතව "ලු" කාරයෙන් කතාකරයි. කිසි දිනෙක එම ප්ලේන් උඩ ගිය තාක්ෂණය පිලිබඳව හෝ එයට ඇති සාධක පිලිබඳව කතා නොකරයි. පැරණි නම්, පරම්පරානුගතනම් එය ඉස්තරම් ලෙස ඔවුන් සලකයි
2. විද්‍යාභිවර්ධන මෝඩ නිකාය
මොවුන්ගේ එකම පරමාදර්ශය බටහිර කතන්දරයි. (විද්‍යාත්මක ක්‍රමය නොවේ) ප්ලේන් උඩයන්න ඛනිජ තෙල්, විදුලිය ඕනෙ. අහවල් රජ්ජුරුවන්ගෙ කාලෙ ඒව තිබ්බෙ නෑ ආදී වශයෙන් නිතරම වර්තමානයේ ප්‍රචලිත බටහිර දැනුමට සියල්ල ගැලපීමටයයි. කිසිදිනෙක බටහිර දැනුමට අමතර දැනුම් පද්ධති ඇතැයි පිලිනොගනී. නූතනනම්, බටහිරනම් එය ඉස්තරම් ලෙස ඔවුන් සලකයි.
3. විරුද්ධාභිවර්ධන මෝඩ නිකාය
මොවුන්ගේ එකම පරමාදර්ශය සෑම දෙයටම විරුද්ධ වීමයි. හඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස බැලීම මොවුන් හඳුනාගැනීමට අැති ලෙහෙසිම ක්‍රමයයි.
විද්‍යාභිවර්ධන හා වංශාභිවර්ධන නිකායන් නිතර නොනිමෙන ගැටුමක සිටින අතර, විරුද්ධාභිවර්ධනයන් මෙම ගැටුම්වලට නිරන්තරව මැදිහත්වී ගැටුම් උත්සන්නකරයි. මෙම ගැටුම සමතයකට පත්කිරීමට යම්කිසි මධ්‍යස්ත මතධාරියෙකු මෙසේ පැවසුවහොත් " ගුවන් යානා පියාසර කිරීමට වර්තමාන ක්‍රමයව්දයට හාත්පසින් වෙනස් ක්‍රමවේද 'තිබිය හැක'. එමෙන්ම අහවල් රජු සිටියා යැයි සැලකෙන කාලයට අදාල නාගරික ශිෂ්ටාචාරයක පුරාවිද්‍යාත්මක සාධක 'මෙතෙක් හමුවී නැත. එබැවින් ඒ පිලිබඳව මධ්‍යස්ත විමර්ශනයක යෙදෙමු' යැයි පැවසුවහොත් එම නිකායන් තුනම එක්වී මධ්‍යස්ත මතධාරියා බිම හෙලනු ලබයි.
ඇතැම්විට මේ නිකායන් තුනම එක්වෙන අවස්ථා ද ඇත. උදා - යමෙකු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශයැයි පැවසුවහොත්, එම ප්‍රකාශයේ යුක්ති අයුක්ති බව නොවිමසන මෝඩ නිකායන් තම තම සම්ප්‍රදායේ සිට පහරදෙනු ලබයි.
වංශාභිවර්ධනයෝ මෙතෙක් පැවති අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ උගතුන් (යැයි සම්මත) වූවන්ගේ විස්තර ඉදිරිපත් කරමින්, පරම්පරානුගතව පැවති මෙම ක්‍රමය හොඳයැයි පවසන අතර විද්‍යාභිවර්ධනයෝ මෙම අධ්‍යාපන ක්‍රමයෙන් උගන්වන දෑ බටහිර දැනුමට ඇති ගැලපීම පැහැදිලි කරමින් පවතින ක්‍රමය හොඳයැයි පවසයි. විරුද්ධාභිවර්ධනයන් සෑම දෙයටම විරුද්ධවන නිසා අලුත් ප්‍රතිසංස්කරණයටද විරුද්ධවේ.
රටේ සෑම ක්‍ෂේත්‍රයකම ඉතිරී පැතිරී සිටින මෙම මෝඩ නිකායෝ මධ්‍යස්ත මතධාරියෙකු දුටු වහාම නැවත නැගිටීමට නොහැකිවනසේ තලා පෙලා දමයි.
මේ මෝඩ නිකායන් මර්දනය කල හැක්කේ අධ්‍යාපන ප්‍රතිපත්තීන් වෙනස්කිරීම තුලින්ම පමනි.
ඉදින් මේ මෝඩ නිකායන් සිටිනාතුරු මෙරටටනම් නැගිටීමක් නැත.
Comments
Post a Comment