ඉතිහාසය විද්‍යා විෂයක් ද?

ඉතිහාසය කලා විෂය ගොන්නට ඇද දැමුවේ කවුරුන්දැයි හෝ ඒ කුමක් නිසාදැයි මා නොදනිමි. මට නොතේරෙන කරුණ වන්නේ ඉතිහාසය හා කලා විෂයන් අතර පවතින සම්බන්ධය කුමක්ද යන්නයි.

හොඳින් මතක තබාගන ගන්න මා මේ පවසන්නේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව බව. මක්නිසාද යත් ලොව අනෙකුත් ශිෂ්ටාචාර හා සසඳන විට ලංකා ශිෂ්ටාචාරය විශේෂ තැනක් ගනියි. ඒ ලංකා ඉතිහාසයේ භාවිතා වූ  තාක්ෂණික ක්‍රමවේදයන් අවිච්ඡින්න ව පවතින හෙයිනි. ඉතිහාසය තුළ භාවිතා වූ තාක්ෂණික ක්‍රමවේද අවිච්ඡින්නව, වර්තමානය වන විටත් දැකගතහැකි වන්නේ ලංකාව, චීනය වැනි ශිෂ්ටාචාර එකක හෝ දෙකක පමණි.

උදාහරණයක් ලෙස ඊජිප්තුවේ පිරමීඩ පැවතිය ද ඒවා ගොඩනැගුණු ආකාරය කවුරුත් නොදනී. ලංකාවේ මහ වැව් සෑදූ තාක්ෂණික ක්‍රමවේදය තවමත් ලේඛනගතව හා පරම්පරානුගතව පැවත එයි.

එබැවින් ලංකා ඉතිහාසය පිළිබඳව අප කතා  කළ යුත්තේ ලෝක ඉතිහාසය හා ලංකා ඉතිහාසය පිළිබඳව වූ මෙම වෙනස සිත්හි තබාගෙනය. ලෝක ඉතිහාසයේ තාක්ෂණික ක්‍රමවේද බොහෝවිට භෞතික විද්‍යාවේ මූලිකාංග කරා ළඟා නො වීම (රෝමය පිළිබඳ පිළිබඳ උදාහරණය බලන්න) හා එම ක්‍රමවේද වර්තමානය තෙක් නො පැවතීම නිසා ලෝක ඉතිහාසය පිළිබඳව බොහෝවිට කතා කිරීමට ඇත්තේ එහි කලා අංගයන් පිලිබඳව පමණි. ඉදින් ලෝකයා එසේ කලා යැයි කියා අප ද එසේ කිරීම මෝඩ කමකි .

කලා විෂයන් වන චිත්‍ර, සාහිත්‍යය වැනි විෂයන්ට වඩා ශ්‍රී ලංකාවේ ඉතිහාසය වඩාත් සමීප වන්නේ භෞතික විද්‍යාව වැනි විද්‍යා විෂයයන්ට ය.

ලංකා ඉතිහාසයේ බොහෝ නිර්මාණ බිහි වී ඇත්තේ භෞතික විද්‍යාවේ මූලිකාංග මත පදනම්ව බව විමර්ශනශීලීව බැලූ විට පෙනී යයි.
උදාහරණයක් ලෙස රෝම ශිෂ්ටාචාරයේ හා ලංකා ශිෂ්ටාචාරයේ වාරි කර්මාන්තය පිළිබඳව සලකා බලමු.

පැරණි රෝමානුවන් විසින් ගොඩනඟා ඇති ඇල මාර්ග ඉදි වී ඇත්තේ ගඩොලින් නිමකළ උස ආධාරක මත ය. ආරම්භයේ සිට අවසානය දක්වා ඒවා බෑවුම් සහිත ව නිර්මාණය කර ඇත. භූගත ජල නල පද්ධතියක් ඉදි කිරීමට ගතවන කාලය, ශ්‍රමය, ධනය මෙන් කිහිප ගුණයක් දරාගනිමින් එවන් නිර්මාණ සිදු කොට ඇත්තේ ඔවුන්ගේ ඉංජිනේරුවන්ට භෞතික විද්‍යාවේ මූලිකාංගයක් වන ද්‍රවයන්ගේ ගුණ පිළිබඳ දැනුම නොතිබූ හෙයින් බව පැහැදිලි වේ.

සීගිරිය, අනුරාධපුර ⁣රාජකීය ජල උද්‍යානය වැනි නිර්මාණ දෙස බලන කල අපට පෙනී යන්නේ අතීත හා වර්තමාන වාරි කර්මාන්තයේ එතරම් වෙනසක් නොතිබෙන බව ය. එයට හේතුව නම් ඔවුන් හා අප එකම භෞතික විද්‍යා මූලධර්මයන්ට අවනත වී ඇති හෙයිනි. වර්තමානයේ හා අතීත ජල භාවිතයේ මා දකින එකම වෙනස නම් අතීතයේ දී ද්‍රව ගුණ තාව ඇසුරින් (එනම් ජලය හැසිරවීමට ජලයම උපයෝගීකර⁣ගෙන) ජලය හසුරුවා ඇති අතර වර්තමානයේ දී අප බලශක්තිය ඇසුරෙන් (එනම් විදුලි, ඛනිජ තෙල් වතුර පොම්ප ආදියෙන්) ජලය හසුරවනු ලබයි.

වර්තමානයේ දී  "ඉතිහාසය හදාරනවා" යයි කියමින්  අප කළ යුත්තේ ඔවුන් දැන සිටි භෞතික විද්‍යා මූලිකාංග හා ඒවා ප්‍රායෝගිකව භාවිතා කළ ආකාරය අධ්‍යයනය කිරීමයි. මක් නිසාද යත් වර්තමාන බටහිර හා අතීත හෙල තාක්ෂණය එකම භෞතික විද්‍යා මූලිකාංග මත ක්‍රියාත්මක වුවද, ඒ සඳහා භාවිතා කළ තාක්ෂණික මූලිකාංග අහසට පොළොව මෙන් වෙනස් ය. අතීත හෙළ තාක්ෂණය ගොඩනඟා ඇත්තේ "සරල හා කාර්යක්ෂම" යන තේමාව ඔස්සේ ය. උදාහරණයක් ලෙස වර්තමාන උද්‍යාන අලංකරණයේ දී අප වතුර මල් යොදා ගනී. වතුර මල් කිවූ සැනින් අපට සිහිවන්නේ විදුලිය හා වතුර මෝටරයයි. සාමාන්‍ය අර්ථයෙන් අපට හැඟීයන්නේ වතුර මලක් සැකසීමට අවශ්‍ය ඉහත උපාංග අතීතයේ නොතිබූ හෙයින් ඔවුනට වතුරමල් සෑදිය නොහැකි බවය. නමුත් භෞතික විද්‍යාවේ මූලිකාංගයක් වන ද්‍රවයන් ගේ ගුණ පිළිබඳව දැන සිටි ඔවුන් "සරල හා කාර්යක්ශම" දිය මල් සැකසූහ.

අප කළ යුත්තේ ඉතිහාසය කලා විෂයන් ගොඩට තල්ලු කොට වැව්වල නම්, රජවරුන්ගේ නම් කට කටපාඩම් කිරීම නොව, ඉතිහාසය විද්‍යා විෂයන්ට ඇතුළත් කොට, එකල ඔවුන් දැන සිටි විද්‍යා නියමයන් හා ඒවා ප්‍රයෝජනයට ගත ආකාරය අධ්‍යයනය කොට වර්තමාන දැනුමට හා තාක්ෂණයට ගලපා නවමු දැනුම් පද්ධතියක් ගොඩ නැගීමයි. එකල ඔවුන් දැන සිටි සරල නියමයන් හරහා මෙතරම් දැවැන්ත උපයෝගිතාවක් ලැබුවේනම්, නූතන දැනුම් සම්භාරය අතීත තාක්ෂණික මූලිකාංග ගා එක්වුවහොත් අපට යා හැකි දුර පුදුම සහගත වනු ඇත.

එවිට අපට පරිසර හිතකාමී "සරල හා කාර්යක්ෂම" අපේම තාක්ෂණයක උරුමකරුවන් වීමට අපට හැකිවනු ඇත.

Comments

Popular Posts