වසලයන්ට හසු නොවෙමු

යෝ බුද්ධං පරිභාසති අථවා තස්ස සාවකං පරිබ්බාජං ගහට්ඨංවා තං පඤ්ඤා වසලෝ ඉති
 යමෙක් සම්මා සම්බුදුන්හට, හෝ ගිහි පැවිදි බුද්ධ ශ්‍රාවකයන් හට හෝ වෙනත් කිසිවෙකුට හෝ නින්දා කරයිනම් හේ වසලයෙකි.
 යමෙකු සම්මා සම්බුදු රජානන් වහන්සේට නින්දා කරන්නේ කෙසේද?
 යමෙක් බුදුන් වහන්සේ තම ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් දේශනාකොට වදාල දෙයක් එය එසේ නොවේ යැයි කරුණු රහිතව දක්වයිනම් හේ බුදුන් වහන්සේට නින්දා කරන්නෙක්ය. එමෙන්ම යමෙක් බුදුන් වහන්සේ තම ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් දේශනා නොකල දෙයක් එය එසේ යැයි කරුණු රහිතව දක්වයිනම් හේ බුදුන් වහන්සේට නින්දා කරන්නෙක්ය.  
 යමෙක් බුදුන් වහන්සේ තම ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් යහපත්ය, කල යුතුයැයි දේශනාකොට වදාල දෙයක් එය එසේ නොවේ යැයි කරුණු රහිතව දක්වයිනම් හේ බුදුන් වහන්සේට නින්දා කරන්නෙක්ය.  යමෙක් බුදුන් වහන්සේ තම ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් අයහපත්ය නොකල යුතුයැයි දේශනාකොට වදාල දෙයක් එය එසේ නොවේ යැයි කරුණු රහිතව දක්වයිනම් හේ බුදුන් වහන්සේට නින්දා කරන්නෙක්ය.  
 බුදුන්වහන්සේ දන් දීම, පින් කිරීම යහපත් වූ දෙයක් ලෙසින් දේශනාකොට වදාල සේක. හැකි පමණින් පුන්‍ය ක්‍රියා සිදු කරන ලෙස උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට පැවසූ සේක.
 යමෙක් දන් දීම අයහපත්ය, දන් දීම පින් කිරීම වැරදියැයි පවසන්නේ නම් හෙතෙම බුදුන් වහන්සේට කරුණු රහිතව ගරහන වසලයෙකි.
 බුදුන්වහන්සේ සිල් රැකීම යහපත් වූ දෙයක් ලෙසින් දේශනාකොට වදාල සේක. නිවන් මග පහසු කරන බව පැවසූ සේක. ගිහි ශ්‍රාවකයන් නිති පන්සිල් පොහොය අටසිල් සමාදන්වන ලෙසත් පැවිදි ශ්‍රාවකයන් සාමනේර දස සීලය, උපසම්පදා සීලය ආරක්ෂා කරන ලෙසත් උන්වහන්සේ වදාල සේක.
 යමෙක් සිල් රැකීම අයහපත් වූ දෙයක් ලෙසින් කියන්නේ නම්, සිල් රැකිම නිවන්මගට බාධාවක් ලෙසින් ප්‍රකාශ කරන්නේ නම්, සීලය වැඩකට නැතැයි පවසන්නේනම් හෙතෙම බුදුන් වහන්සේට කරුණු රහිතව ගරහන වසලයෙකි.
 බුදුන් වහන්සේ සත්වයන්ගේ පිරිසිදු භාවය පිණීස, නිවන් මගට ඇති එකම මාර්ගය භාවනාව බව දේශනාකොට වදාල සේක. එබැවින් භාවනාවෙහි ඇලී වාසය කරන ලෙස තම ශ්‍රාවකයන්ට දේශනාකොට වදාල සේක.
 යමෙක් බුදුන් වහන්සේ පෙන්වාදුන් භාවනාවන් අයහපත් වූ දෙයක් ලෙසින් කියන්නේ නම්, බුදුන් වහන්සේ පෙන්වාදුන් භාවනාවන් නිවන්මගට බාධාවක් ලෙසින් ප්‍රකාශ කරන්නේ නම්, භාවනාව වැඩකට නැතැයි පවසන්නේනම් හෙතෙම බුදුන් වහන්සේට කරුණු රහිතව ගරහන වසලයෙකි.
 බුදුන් වහන්සේ විසින් ධාතූන් වහන්සේලා, ‍බෝධීන් වහන්සේලා, වන්දනාමාන කිරීමත් මල්, පහන්, සුවද දුම් ආදිය ත්‍රිවිධ රත්නය උදෙසා පූජා කිරිමත් මහත් කුසලයක් වයෙන් දේශනාකල සේක.
යමෙක් ධාතු වන්දනා, බෝධි වන්දනා අයහපත්ය, මල්, පහන්, සුවද දුම් ආදී පූජා ද්‍රව්‍යය ත්‍රිවිධ රත්නය උදෙසා පූජා කිරීම වැරදියැයි පවසන්නේ නම් හෙතෙම බුදුන් වහන්සේට කරුණු රහිතව ගරහන වසලයෙකි.
 එබැවින් ඔබත් බුදුන් වහන්සේට කරුණු රහිතව ගරහන වසලයන්ගෙන් ප්‍රවේසම් වන්න. වසල ධර්මය ප්‍රතික්ෂේප කරන්න. ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් යුතුව සරණ යන්න. ශ්‍රී සද්ධර්මය හොදින් ඉගෙන ගන්න, ශ්‍රී සද්ධර්මය හොදින් ප්‍රගුණ කරන්න, ධර්මය තම ජීවිතයට ගලපා ගන්න. මේ ගෞතම බුදු සසුන තුලදීම නිර්වාන අවබෝධය පිනිස මහන්සි ගන්න
 
 
 

Comments

Popular Posts