ඔබලා මෙසේ අසන්න

 
යමෙක් බුදු දහමේ නාමයෙන් කියනා සියල්ලම බුදු දහමට අයිති නැත. බුදු දහම යනු බුදුන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් නිකුත් වූ, මුල මැද අග පිරිසිදු වූ, ශ්‍රී සද්ධර්මයයි. අද වනවිට අපට පිරිසිදු බුද්ධ භාෂිතයන් ඉගෙනගත හැක්කේ ත්‍රිපිටකය හරහා පමණි.
 
යමෙක් බුදු දහම හෝ නිර්වානයට මග මෙයයැයි පවසමින්, - ත්‍රිපිටකය වැඩක් නැත, ත්‍රිපිටකය වෙනස්වී ඇත, අළුතෙන් කොටස් එකතුවී ඇත යැයි සම්ප්‍රපලාප දොඩමින් අහිංසක බෞද්ධයන් අමාරුවේ දැමීමට උත්සාහ කරයිනම් ඔබලා මෙසේ අසන්න - ත්‍රිපිටකයෙන් බාහිරව ඔබ බුදු දහම උගත්තේ කෙසේද? (සමහර විටෙක බයිබලයෙන් විය හැක)
 
යමෙක් බුදු දහම හෝ නිර්වානයට මග මෙයයැයි පවසමින්, - ධර්මය ඉගෙනීමට අවශ්‍ය නැත යැයි පවසන්නේ නම්, ඔබලා මෙසේ අසන්න - දහම් දැනුම නොමැතිව නිවන් මාර්ගයත්, එයට ඇති බාධකත් හදුනාගන්නේ කෙසේද? දහම් දැනුම වැඩකට නැතිනම් බුදුන් වහන්සේ මෙතරම් ධර්මය දේශනා කරමින් මහන්සිවූයේ ඇයි.
 
යමෙක් බුදු දහම හෝ නිර්වානයට මග මෙයයැයි පවසමින්, - සීලය වැඩකට නැතැයි පවසන්නේ නම්, ඔබලා මෙසේ අසන්න - එසේනම් බුදුන් වහන්සේ සීලයක් පැනවූයේ ඇයි? සමාධියට මුල සීලයයැයි වදාලේ ඇයි? දුසිල්වතුන්ට ගැරහූයේ ඇයි? සීලය අපිරිසිදු වූ භික්ෂූන් වහන්සේලාට සීලය පිරිසුදු කර ගැනීම පිණිස විනය නීති පැනවූයේ ඇයි.
 
යමෙක් බුදු දහම හෝ නිර්වානයට මග මෙයයැයි පවසමින් - පින් කිරීම, දන් පැන් පිදීම, සිල් රැකීම වැඩකට නැතැයි පවසන්නෙනම්, ඔබලා මෙසේ අසන්න - ඔබ දේවදත්තයගේ ශ්‍රාවකයෙක්ද? (බුදුන්වහන්සේ පැනවූ මාර්ගයෙන් නිවන් අවබෝධ කිරීම දුෂ්කර බව පවසා එයට ලෙහෙසිම මාර්ගය ඇත්තේ තමා සතුවයැයි පවසමින් ප්‍රථමයෙන්ම සංඝ භේදය සිදු කලේ දේවදත්ත විසිනි)
 
යමෙක් බුදු දහම හෝ නිර්වානයට මග මෙයයැයි පවසමින් - බෝධි වන්දනා, ධාතු වන්දනා, මල්, පහන්, සුවද දුම් ආදී අපගේ ශාස්තෘන් වහන්සේ උදෙසා සිදු කරන උපහාරයන් මිත්‍යා දුෂ්ටියක් යැයි පවසන්නේනම්, ඔබලා මෙසේ අසන්න - භාග්‍යවතුන් වහන්සේ ආනන්ද බෝධීය රෝපනය කිරීමට ආනන්ද හිමියන්ට උපදෙස් දුන්නේ ඇයි, භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී තම කේෂ ධාතූන් වහන්සේලා තපස්සු භල්ලුක වෙලද දෙබෑයන් හට වන්දනා මාන කිරීමට දුන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී මල්, පහන්, සුවද දුම් ආදිය රැගෙන බුද්න් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණී ජනයා හට එසේ නොකරන ලෙස උපදෙස් නුදුන්නේ ඇයි?
 
යමෙක් බුදු දහම හෝ නිර්වානයට මග මෙයයැයි පවසමින් - භික්ෂූන් වහන්සේලාගේ ඇදකුද කියන්නේනම්, සොයන්නේනම්, ඔබලා මෙසේ අසන්න - ඉතිං ඔබ පැවදිවී ශ්‍රද්ධා සීල සම්පන්නව සිට ශාසනය ශෝභමාන නොකරන්නේ ඇයි?
 
අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් මුලු මහත් ලෝක සත්වයා කෙරෙහිම අනුකම්පාවෙන් යුක්තව ඔවුන්ගේ හිතසුව උදෙසා මුල, මැද, අග පිරිසිදු ලෙස අර්ථ සම්පන්නව, සිදුරු රහිතව, නොකලැල්ව ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මය දේශනාකොට වදාලා. ඒ ශ්‍රී සද්ධර්ම පළමු, දෙවන, හා තෙවන සංගායනා වලින් සංඝායනා කොට සියළු කෙලෙසුන් නසා බුදු සසුනේ අග්‍ර ඵලය ලබා ගත් ඒ උතුම් රහතන් වහන්සේලා විසින් මුඛ පරම්පරාවෙන් ගෙනවිත් රහතන් වහන්සේලා විසින්ම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන ලදී. එබැවින් ත්‍රිපිටකයේ එකදු වචනයක් හෝ වෙනස් වී නොමැත. ඒ ධර්මය ගෙන ආවේත්, ග්‍රන්තාරූඩ කරනු ලැබුවේත් රහතන් වහන්සේලා විසින් බැවිනි.
 
එබැවින් යමෙක් ධර්මය යැයි පවසමින් යමක් කියයිනම් එය ත්‍රිපිටක ධර්මයට යොමා බලන්න. ගැලපේනම් පිළී ගන්න. නොගැලපේනම් අතහරින්න.
 
බුදුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාලේ නිර්වානය අරමුණූ කරගෙනමය. බුදුන් වහන්සේ දේශනා කොට වදාලේ නිවන යනු ප්‍රාර්ථනා කරමින්, පෙරම්පුරමින්, පුද පූජා කිරීමෙන් ලද හැකි දෙයක් නොවන බවයි. එමෙන්ම නිවන යනු එකවර ලැබිය හැක්කක්ද නොවේ. එය යම්කිසි මාර්ගයක අවසාන ඵලයයි. එම මාර්ගයනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එබැවින් බුදුන් වහන්සේ වදාලේ මැනවින් ධර්මය ඉගෙන ගෙන, කල්‍යාන මිත්‍රයන්ගේ අවවාද හා උපදෙස් අනුව තම වීරිය හා උත්සාහය මුල් කර ගනිමින් නිවන කරා ලගාවිය හැකි බවයි. නිවනට ඇති මාර්ගය සීලය නිසා පහසුවන බව උන් වහන්සේ දේශනාකොට වදාලා. මහා සතිපට්ඨාන සූත්‍රයේදී උන්වහන්සේ දේශනාකොට සිටියේ යමෙක් නිසියාකාරව සතිපට්ඨානය වඩන්නේනම් අවම දින 7ක් ඇතුලත හෝ උපරිම වසර 7ක් ඇතුලත අරහත්වය සාක්ෂාත් කරගන්නා බවයි.
මේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන බව හොවත් බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැන පමණින් අවබෝධකර ගන්නා බව දුටු භාග්‍යවතුන් වහන්සේ නිවන ශ්‍රේෂ්ටවන බව වදාරමින් දානාදී පුන්‍යක්‍රියා මහත්සේ අගය කල සේක. ඒ සතුන්ගේ මෙලොව මෙන්ම පරලොව හිත සුව පිනිස පවතින එකම දෙය පිණ වූ නිසාය‍.
 
එබැවින් අපගේ සාස්තෘවරයානන් වහන්සේගේ අවවාද අනුසාසනාවන්ට අනුව ඔබත් දාන- සීල - භාවනාවෙන් යුක්ත නිවැරදි බෞද්ධයෙකු වන්න

Comments

Popular Posts