විනය හා දැනුම

බාහුසච්චඤ්ච සිප්පඤ්ච - විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා - එ්තං මංගලමුත්තමං
 
බොහෝ දැන උගත් බව - නොයෙකුත් ශිල්ප දත් බව
විනයකින් යුතු බව - මනා කොට හික්මුන බව
සුභාසිත වූ යම් බසක් වෙද - මේවා උතුම් මගුල් කරුණු ය
 
බුදු දහමට අනුව බොහෝ සෙයින් ඉගෙන ගැනීමල දැන උගත්කම ඇතිකර ගැනීම මංගල කාරනාවකි. එමෙන්ම නොයෙකුත් ශිල්ප ශාස්ත්‍රයන් සොයා ගැනීම, ඉගෙන ගැනීම ශ්‍රේෂ්ට කාරනාවකි. එබැවින් අතීතයේ බෞද්ධයන් විසින් විවිධ දැනුම් සම්භාරයන් එක්රැස් කරන ලදී. මහා විහාරයේ පොත්ගුල මාඝ විසින් ගිනි තැබූ කල්හි, නාලන්දා විශ්වවිද්‍යාලයේ පුස්තකාලය මුසොල්මානුවන් විසින් ගිනි තැබූ කල්හි එය මාස 3ක් තිස්සේ ගිනිගත් ආකාරයෙන් එහි තිබූ දැනුම් සම්භාරයේ තරම සිතාගත හැකිය. එමෙන්ම ඔවුන් විසින් විවිධාකාර ශිල්ප ශාස්ත්‍රයන් සොයාගන්නා ලදී. ඒ අනුව ඔවුන් විසින් මහා දාගැබ්, වැව් අමුණු, ඇලමාර්ග, රෝහල් ආදීය ඉදිකරන ලදී.
 
නමුත් බෞද්ධ ඉගැන්වීමට අනුව බොහෝ දැන උගත් බවට හා නොයෙකුත් ශිල්ප දත් බවට, විනයකින් යුතු බව හා මනා කොට හික්මුන බව ද එක් විය යුතුය.
 
එය එසේම එක්වී තිබූ බව අතීතය දෙස බැලීමේදී මැනවින් පසක් වේ. අතීත බෞද්ධ කෘෂිකර්මයේදී සත්ව ඝාතනය නොකරන ලදී, අතීත බෞද්ධ තාක්ෂණයෙන් පරිසර, වායු, ශබ්ද දූෂණය නොතිබුණි. අවි ආයුධ දියුණු නොකරන ලදී. කාම සාහිත්‍යයක් නොතිබුණී. මත්පැන් මත් ද්‍රව්‍ය නිශ්පාදනය නොකරන ලදී. වෛද්‍ය ක්‍රමයේදී සතුන් යොදා පර්යේෂණ නොකරන ලදී....................
 
ඒ ඔවුන් තුළ බොහෝ දැන උගත් බව, නොයෙකුත් ශිල්ප දත් බව සමගම විනයකින් යුතු බව හා මනා කොට හික්මුන බව ද සමානු පාතිකව එක්වී තිබූ නිසාය. සරලවම කිවහොත් බෞද්ධ විද්‍යාවන් තුල දැනුම ක්‍රියාත්මක වන්නේ විනය හා හික්මුන බව සමගය,
 
අද වන විට බටහිර ජාතිකයන් තුල බොහෝ දැන උගත් බව හා නොයෙකුත් ශිල්ප දත් බව බොහෝ සෙයින්ම පවතී. එය අගය කල යුතුය. නමුත් ඔවුන් තුළ විනය හා හික්මුන බව සුළු වශයෙන්වත් පිහිටා නැති බව පෙනී යයි. එබැවින් බටහිර දැනුමෙන් සමාජයට වන යහපත මෙන් තුන් හතර ගුණයක අයහපතක් සිදුවේ.
ඔවුන් කෘෂි කර්මයේදීද, වෛද්‍ය කර්මයේදීද සියලු දෙයෙහිමදී සත්ව ඝාතනයට මුල්තැන දෙයි. මිනිසුන් හා සතුන් ඝාතනයේ ලෙහෙසි ක්‍රම සොයමින් වෙහෙසෙයි. අවි ආයුධ අප්‍රමානය, මිනිසුන් තුළ කාමය ද්වේශය දියුනු කිරීමේ සූක්ෂම ක්‍රම සොයයි. ඔවුන්ගේ දැනුම දියුණු වෙත්ම දියුණු වෙත්ම පරිසර, වායු, ශබ්ද, දූෂණය ඉහල යයි. පරිසර විනාශයද සීග්‍ර ලෙස වර්ධනය වෙයි. මත්වීමේ විවිධ ක්‍රම ගවේශනය කරයි..............
 
චීනුන් විසින් වෙඩි බෙහෙත් සොයාගත් නමුත් ඔවුන් තුළ දැන උගත් බව මෙන්ම විනයද තිබූ නිසා ඔවුන් එය භාවිතා කලේ මල්වෙඩි වැනි අහිංසක භාවිතයන් සදහාය. නමුත් එය බටහිර ජාතිකයන් උගත් කල්හි නොයෙකුත් ශිල්ප දත් නමුත් විනය හා හික්මීම නොතිබූ හෙයින් ඔවුන් විසින් වෙඩිබෙහෙත් හරහා කුවක්කු බෝම්බ ආදී හිංසාකාරී ක්‍රියාවන්ට යොමු විය.
 
එබැවින් සමාජ ප්‍රගමනය සදහා අවශ්‍ය වන්නේ බොහෝ දැන උගත් බව හා නොයෙකුත් ශිල්ප දත් බව පමණක් නොවේ විනයකින් යුතු බව හා මනා කොට හික්මුන බව ද එයට ඇතුලත් විය යුතුය.
 
එබැවින් බටහිර දැනුමට විනයකින් යුතු බව හා මනා කොට හික්මුන බවද එකතු කිරීමට සුදුසු කාලය දැන් පැමිණ තිබේ. එසේ නොවුනහොත් මේ පෘතුවිය මිනිස් වාසයට නුසුදුසු වන කාලය වැඩි ඈතක නොවනු ඇත.

Comments

Popular Posts