ළමා අයිතිවාසිකම් පිළිබද ජාතික සමුළුව 2014

----------------------------------------------------------
ළමා  අයිතිවාසිකම් පිළිබද ජාතික සමුළුව 2014
------------------------------------------------------------
නිවේදක- අප‍ මෙම ජාතික සමුළුව රටේ දරුවන්ගේ හෙට දවස දීප්තිමත් අනාගතයක් කරා රැගෙන යාමේ අරමුණින් සංවිධානය කරනු ලබයි. රටේ හෙට දවස වන අපේ මල් වන් දරුවන්ගේ දැවෙන ප්‍රශ්න හා ඊට අදාල පිළියම් පිලිබදව සමාජය දැනුවත් කිරීම අපගේ පරමාර්තයයි. ඒ සදහා ඔබව දැනුවත් කිරීමට මා ප්‍රතමයෙන්ම මේ වේදිකාවට ඇරයුම් කරනවා සද්ගුණවත් දේශක මහතාට
සද්ගුණවත් දේශක - පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් හා ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අද වන විට අපගේ දරුවන් හමුවේ ඇති ප්‍රධානම අභියොගය වන්නේ සියලු ළමා අයිතිවාසිකම් උල්ලංගනය කරමින් කුඩා කලදීම මහන කිරීමයි.‍ අද වන විට මෙය රට පුරා ඔඩු දුවා ඇති අතර මෙය ළමාසොල්දාදුවන්ටත් වඩා බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙමගින් කුඩා දරුවන් හට සෙල්ලම් කිරීමට, දෙමාපිට රැකවරනය සදහා වූ අයිතියට එල්ලවන බලවත්පහරකි. ඊට අමතරව මෙම දරුවන් හට සිදුවන ලිංගික අතවරයන්ද සැලකිය යුතු මට්ටමක පවතී. ජාතියක් වශයෙන් අප මෙම දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිය යුතු අතර කුඩා දරුවන් මහන කිරීමට එරෙහිව පනතක් සම්මත කරගත යුතුය.
--------------------------------------------------------------------------------------------------
සද්ගුණවත් දේශක මහතා තම දේශනය අවසානයේ නිවස බලා යාමට තමාට අයත් සුකෝපභෝගී කාරයට නැග පිටත්වේ. අතර මගදී වාහන තද බදයට හසුවූ කාරය වෙත පැමිණි අවුරුදු 8ක පමණ වීදි යාචක දරුවෙකු
----------------------------------------------------------------------------------------------------
යාචක දරුවා- අනේ පිං ඇති මහත්තයෝ දවල්ට කෑවෙත් නෑ. උදේටත් මුකුත් හම්බුනේ නෑ. රෑටවත් මුකුත් කන්න කියක් හරි දෙන්න.
සද්ගුණවත් දේශක- පිං? කොහෙ තියෙන පිනක්ද යකෝ? තොගෙ මහ එවුන් නැද්ද තොට කන්න දෙන්න? උන් දන්නෙ වදන්ඩ විතරද? ගුටි නොකා දුවපිය පරය.
----------------------------------------------------------------------------------------------------
ඒ අතර ගුවන්විදුලියේ ප්‍රවෘත්ති විකාශය වේ
----------------------------------------------------------------------------------------------------
ගුවන්විදුලි ප්‍රවෘත්ති- කාකපල්ලියේ දේවස්තානයක පියතුමෙකු විසින් බාලවයස්කාර දැරිවියන් දස දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් දූෂනය කොට ...........................
සද්ගුණවත් දේශක- මේ මාධ්‍ය කාරයන්ට පිස්සුද මන්ද මේ වගේ ප්‍රවෘත්ති දාන්නෙ. මේ රටේ වෙන ප්‍රවෘත්ති නැද්ද දාන්න. මිනිස්සුන්ට අපහාස කරන්නෙ
----------------------------------------------------------------------------------------------------
දේශක මහතා නිවසට ඇතුලු වූ විගස දේශකගේ බිරිද මෙසේ පවසයි
----------------------------------------------------------------------------------------------------
දේශකගේ බිරිද- මේ දන්නවද වැඩක්. අර පොල් කඩන සිරිපාලයගෙ පුතා ශිෂ්‍යත්වෙ පාස් වෙලා අපේ පුතාලගෙ ඉස්කෝලෙට දාලලු. දැන් ඒක පුතාගෙ පංතියේමලු.
සද්ගුණවත් දේශක- හහ් උන්ටත් ගිය කලක්. මෙහෙම ගියොත් අපිට ගස් ගෙඩියක්වත් කඩාගන්න එකෙක් නැතිවෙයි. මං දැන්ම ප්‍රින්සිපල්ට කතා කරල මේක විසදගන්නම්කො
----------------------------------------------------------------------------------------------------
මේ අතර අසල්වැසි දරුවන් සමග සෙල්ලම් කොට පැමිණි තම පුතා දෙස බලමින් දේශක මෙසේ පවසයි
----------------------------------------------------------------------------------------------------
සද්ගුණවත් දේශක- පුතා, මං කියල තියෙනව නේද ඔය මුඩුක්කුවෙ කොල්ලො කුරුට්ටො එක්ක බජනෙට යන්න එපා කියල. ඕකුන්ට හොද කරන්න ගියාම එනව කරේ නගින්න. සභාපතිට කතා කරල කියන්න ඕනෙ ඔය මුඩුක්කුවෙ එකාලට ග්‍රවුන්ඩ් එකට එන්න දෙන්න එපා කියල. උන්ට මොන සෙල්ලම්ද? ඕකුන් හින්ද අපේ දරුවන්ටත් නිදහසේ ඉන්න නෑ.
----------------------------------------------------------------------------------------------------
දේශක තම බිරිද අමතමින්
----------------------------------------------------------------------------------------------------
සද්ගුණවත් දේශක- මේ හෙට මට ටිකක් උදෙන් ඇහැරවන්න. හෙට උදේ ටවුන් හෝල් එකේ ළමා අයිතිවාසිකම් පිළිබද දේශනයක් තියෙනව කරන්න

Comments

Popular Posts